Monday, April 15, 2013

කරදිය පිස හමන බක්මහ සුවද...



සීතල මෑත්කර හමා එන මල් සුවද
දලු දමා නැලවෙන හරිත තුරු ලතා පෙල
නිල් අහස දිදුලවන තේජස් හිරු මඩල
හඩනගා කියයි මට බක්මහ ලැබූ බව

හරිතවන් දලු අතර රතට සුලගට නටන
හිරු කිරනෙ නැහැවෙමින් හැරුනි නුඹ තව රතට
අතු අගක පිපි නුඹේ සුවද මුහු කර හිතට
එරබදු මලේ සිරි විදිමි නෙතු පියන් මම

දෙසවනට හුරු නුඹේ මිහිරි කන්කලු නාද
ඈත අතු අග ඉදන් නුඹ ගැයූ ගී වාද
නුඹේ හඩ හුරු පුරුදු හිත ලගයි මගෙ තාම
කොහෝ ,නුඹෙ ගී හඩත් නෑසුනා නොවේ මට

තෙල් ඉහිරි පැනි කැවුම් රස අමතකද කාට
අග්ගලා,මුන් කැවුම්,පැනි වලලු තව නැද්ද
නැකතටම ලිප තැබූ කිරිබත්ද,ලුනු මිරිස
දැනේ බක්මහ සුවද නොඅඩුවම අපෙ සිතට


මවුරටින් අපි ඈත ,බොහෝ දුර බව ඇත්ත
ගෙදර සිහිවන විටදි අපෙ හිතට දුක නැද්ද
සිත් වලින් බැදුන අපෙ සහෝදර කම් මැද්දෙ
පාලුවක් නොම දැනේ අපෙ සිතට අරුමැක්කෙ

කරදිය පිස හමන බක්මහේ නව සුවද
හැකිලෙසින් විදිමු අපි පිලිපැදන් චාරිත්‍ර
කොහෝ හඩ,රබන් පද,රතුමල් හිතින් ගෙන
ඇගිලි ගනිනව නේද,උපන් මව් බිමේ සිට ,සමරන්න අවුරුද්ද..